6

පරිසර හිතකාමී සිහින සයිබර් සැණකෙළියක් ..... මේ අනාගත ලෝකය වෙනුවෙන් ඔබේ පියවරයි...

මිනිසා හැමදාමත් දැනුම සොයා යන අනවරත ගමනක යෙදුනේ... ඒත් කවදා හෝ ඔබට සිතුනාද, මනුෂ්‍ය වර්ගයා ශතවර්ෂ ගණනාවක් අත්පත්කරගන්නට තැත් දැරූ ඒ ඥානය, කොයි තරම් අපූරුවට සොබාදම් මව සුසිනිඳු මල් පෙත්තක, උදෑසන වැටෙන පිණි බිඳුවක, දැනෙන නොදැනෙන ලෙසින් හමායන සුළං රැල්ලක සඟවලා තියෙනවද කියලා... ඔබට... කවදා හෝ ඔබට දැනිලා තියෙනවද ඇගේ අපරිමිත ආදරය... ඈ ඒ නොමසුරුව ලබාදුන් ආදරය වෙනුවෙන් ඔබත් මමත් මොනවද පෙරළා ඇයට ලබාදීලා තියෙන්නේ? සොබාදම් මව තුළ ඇති අපූර්ව සමතුලිතතාවය ඇයට අහිමි කලේ ඇගේම දරුවන්, මිනිස්සු... ඔබත් මමත් අයත්වන මනුෂ්‍ය වර්ගයා...

මේ වෙනකොට ලෝකයේ විවිධ තරුණ කණ්ඩායම් පරිසරය, මිහිතලය, සොබාදහම රැක ගැනීම වෙනුවෙන් සටන් වදිනවා... ඒ හා සම්බන්ධ උප සංස්කෘතීන් පවා බිහිවී තිබෙනවා... දැන් මේ කථාව කොතනින් කොහොමද සයිබරයේ සිහින බක්මහ උළෙලට සම්බන්ධ වෙන්නේ? සයිබර් අවකාශයෙන් මෙතෙක් දැන හඳුනාගෙන සිටි ආදරණීය මිතුරු මිතුරියන් රැසක් එක් වෙන මේ සුවිශේෂී අවස්ථාව සොබාදහම වෙනුවෙනුත් ඔබට යමක් කරන්නට හැකියාව ඇති අවස්ථාව කරගත්තොත්... එදිනට හිත් තුළින් ගලායන සතුට, ආදරය තවත් තලයකට ගෙනගොස් පරිසරය සමඟත් බෙදාහදා ගන්නට ඔබට හැකියාවක් තියෙනවා නම්... ඔබ, මම අප හැමගේම ජීවිතවලට නැවුම් අත්දැකීමක් එක් කරනා මේ සුවිශේෂී අවස්ථාව මිහිතලය රැකගැනීම වෙනුවෙන් ඔබට කරනට හැකි වැඩකොටසක එක් පියවරක් වේ නම්... එදින පරිසර හිතකාමී දිනයක් ලෙස සමරන්නට උත්සාහ ගන්නට අපට පිළිවනි නම්... ඒකයි මේ කථාවේ සම්බන්ධය.

අප්‍රේල් තුන්වන දින අපගේ සිහින සැණකෙළිය පරිසර හිතකාමී සුහද හමුවක් කරගැන්මට අපහසු නැහැ. ඒ සඳහා වැදගත් වනු ඇති උපදෙස් කිහිපයක් මේ.

කපු හෝ කපු මිශ්‍රිත ඇඳුම් කොයි තරම් පරිසර හිතකාමීද සහ කොයි තරම් සුවදායකද කියන එක ගැන ඔබට හොඳ වැටහීමක් ඇති. මතක තියාගන්න, "ඉරට හැතැප්මයි" කියන කතාව මේ දිනවල අර්ථවත් කියමනක්! 
අප පරිසරය හා සම්බන්ධ වන්නේත්, පරිසරය දූෂ්‍ය කරන්නේත් බොහෝවිට අප නොහිතන නොසිතන තැන්වලින්. ඔබ ගෙදරින් පිටවීමට පළමුව මතක ඇතිව සියළු විද්‍යුත් උවාරණ විසන්ධි කිරීම, පරිසර හිතකාමී අදහසක් වගේම හොඳ පිරිමැසුම් සැලසුමක්. 
පොදු ප්‍රවාහන මාධ්‍ය ගැන කොයි වගේ ආකල්ප අපේ හිත්වල තිබුනත් සමහර වෙලාවට ඒක එකම විකල්පය වෙනවා. එදිනට අපි හැමදෙනාටම පොදු ප්‍රවාහන මාධ්‍යයක් යොදාගන්න හැකිනම් වටිනවා. ඒ වගේම තමන්ගේ පෞද්ගලික වාහනයක් භාවිතා කරනවා නම් තවත් මිතුරු මිතුරියන් කීප දෙනෙක්ට ගමන් පහසුව සැලසීම, මිතුරුකම වර්ධනය වෙන්නට වගේම පරිසරය වෙනුවෙනුත් හොඳ ඉදිරි පියවරක් වෙනවා.
ජලය නැතිව ලෝකයේ රටවල මිනිසුන් දුක් විඳිනවා, උත්සව පරිශ්‍රය තුළ අනවශ්‍ය ලෙස ජලය නාස්ති නොකරන්නට සිහි තබාගන්න. ජල කරාම නිසි ලෙස වසා තබන්න. ජලය පිරිමසිමු, අනවශ්‍ය ජල නාස්තියෙන් වළකිමු.

පොලිතීන් සහ ප්ලාස්ටික් මඟින් පරිසරයට මඟින් සිදුවන හානිය නැවත ප්‍රකෘතිමත් කිරීමට නොහැකියි. එනිසා ප්ලාස්ටික් සහ පොලිතින් උත්සව පරිශ්‍රයට ගෙන නෝඒම සහ ප්ලාස්ටික් පොලිතින් අපද්‍රව්‍ය උත්සව පරිශ්‍රයට මුදා නොහැරීම ඔබට කළ හැකි ඉහළම පරිසර හිතකාමී ක්‍රියාවක්. මඳක් නිර්මාණශීලී වන්න. ප්ලාස්ටික් සහ පොලිතින් වලට ආදේශක සොයාගැනීම අපහසු කාර්‍යයක් නොවෙයි.

ඔබ කසල නියමිත පරිදි බැහැර කරනවාද කියා කවුරුවත් ඔබ දෙස බලාසිටින්නේ නැහැ. එනමුත් එය ඔබ සහ ඔබගේ හෘදය සාක්ෂිය අතර ගනුදෙණුවක්. ඔබ ඉවත ලන කසල හෝ අපද්‍රව්‍ය ඔබ සමඟින්ම තබාගන්න, නියමිත පරිදි කසල බඳුනක් හමුවූ විට ඔබට ඒවා ඉවතලන්නට හැකියි.
ලෝකයේ හැම මොහොතකම ආහාර නැතිව මිනිසුන් මියයනවා. ඒ බව මතක තබාගන්න. ආහාර අපතේ නොහරින්න. ආහාර ඉතිරි වේ නම් එය වෙනත් කෙනෙකු හා බෙදාහදාගන්න, එසේ නොමැතිනම් කුසගින්නේ සිටින්නෙකුගේ කුසගිනි නිවීමට එය අවස්ථාවක් කරගන්න.

ගහක් නසන්නට මොහොතකට වඩා ගත නොවුනත් ගහක් හදන්නට සමහරවිට තවත් ජීවිතකාලයක් වැය වෙනවා. උත්සව පරිශ්‍රයේ ගහකොළ, වෘක්ෂලතාදියට හානි පැමිණවීමෙන් වලකිමු.
උත්සව පරිශ්‍රයේ සිටිනා සියළුම සත්වයන්ට සමාන ගෞරවයෙන් සලකන්න.මේ කුලකයට ඔබත්, එදිනට ඔබ හා එක්වෙන ඔබගේ මිතුරු මිතුරියන් ද ඇතුළත්. හඳුනන නාඳුනන කිසිම ප්‍රාණියෙක් තමන්ව අගෞරවයට ලක්කරනවාට හෝ නිසි සැලකිල්ල නොදක්වනවාට කැමති නැහැ.

එදින පරිසර හිතකාමී සුහද හමුවක් කරන්නට ඔබගේ දායකත්වය ලබාදීමට හැකිවීම ගැන ඔබ ගැනම අභිමානවත් වන්න, ඒ ගැන ඔබ වටා සිටින්නන් දැනුවත් කරන්න, පණිවුඩය පතුරුවා හරින්න.

අප්‍රේල් මාසයේ තුන්වෙනිදා හමුවෙන ඔබත් මමත් මිතුරන්, වඩා ලස්සන ලෝකයක් වෙනුවෙන් සිහින දකින, සහෝදර බැඳීමකින් එක් වුනු, එකම අදහසක කොටස් කරුවන් වුනු වෙනස් වෙනස් මිනිසුන්...සොබාදහමට ප්‍රේම කරන්නට, ඇයව සුවපත් කරන්නට ඔබ තබන මේ පියවර අනාගතයේ බිහිවන සුන්දර ලෝකයක පළමු පියසටහන් වනු ඇති... ඔබ එදින හමුවීම අවසන, ආත්ම තෘප්තියක සුන්දර සටහන් සිතේ දරාගෙන ආපසු යනු ඇති... මේ පියවර, සයිබර් අවකාශයෙන් මිතුදම් සඳහා අඩිතාලම දමා සහෝදර සහෝදරියන් වුනු ඔබේත් මගේත් ජීවිත මෙතැන් සිට වෙනස් කරනු ඇති... ඔබ සුරකින්නේ අප හැමගේම මවයි... මේ අභිමානවත්, තෘප්තිමත් හැඟීම ඔබේත් මගේත් වෑයමේ ප්‍රතිඵලයයි...

Forget not that the earth delights to feel your bare feet and the winds long to play with your hair.  ~Kahlil Gibran

ලියා එව්වේ ~ හිපියා
ස්තුතිය: ​​​Dee

6 comments:

නිසල් said...

වටිනා අදහස් ටිකක්

Dee said...

හැඩට ලියලා..!

pavithra weerapperuma said...

හික් ය. වැදගත් අදහසක් අයියෙ... :D :D නියමයි..

ජීවිතේ මල් said...

සයිබර් සිහින උළෙලට සොඳුරු අරුතක්.. අලුතින් ඒ ගැන හිතන්නට යමක්...
ස්තූතියි මේ වටිනා සංකල්පය සයිබර් අවකාශයට මුදා හැරියාට :) ...

ඉලංදාරියා said...

ඔව් නියම ලිපියක් ජයවෙවා!

Kavindya said...

ස්වබාවික සැරසිලි වලින් පරිසර හිතකාමීත්වය පෙන්වන්න අපි සූදානම්.....

Post a Comment

Back to Top