අපි ගැන

සිංහල බ්ලොග් අඩවි පිළිබඳව ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය පාවිච්චි කරන බොහෝ පිරිසක් අසා ඇතුවාට සැකයක් නැහැ. මේ උත්සාහය සිංහල බ්ලොග් අඩවිවල ආරම්භයේ සිට වර්තමානය දක්වාත් , ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශයේ මිතුරු මිතුරියන්ගේ ක්‍රියාකාරකම් පිලිබඳවත් සාරාංශ සටහනක් තැබීමටයි. සරලවම පැවසුවහොත් බ්ලොග් අඩවියක් යනු අන්තර්ජාලය තම අවකාශය කරගත් සටහන් මාලාවක්, එසේත් නැත්නම් සටහන් ගොනුවක් ලෙස හැදින් විය හැක. බ්ලොග් අඩවියක් යාවත්කාල කිරීම “බ්ලොග්කරණය” ලෙසත් එය පවත්වා ගෙන යන්නා “බ්ලෝග්කරුවකු” ලෙසත් හැඳින්වේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂනායතනය මගින් සිංහල යුනිකේත ක්‍රමය හදුන්වා දීමත් සමගම 2006 වර්ෂයේදී සිංහල යුනිකෝඩ් ගුගල් සංගමය ඇති කරන ලදී. . ඒ බිහි වීමත් සමගම මෙතුවක් කාලයක් ඉංග්‍රීසි භාෂාවට පමණක් සිමා වී තිබු තොරතුරු තාක්ෂනය සිංහල භාෂාවෙනුත් ඉදිරියට ගමන් කිරීම ආරම්භ විය. සිංහල යුනිකේත යොදාගෙන රාජ්‍ය මට්ටමින් වෙබ් අඩවි නිර්මාණය, නැණසල මධ්‍යස්ථාන මගින් සිංහල යුනිකේත භාවිතය ප්‍රචලිත කිරීම වැනි ක්‍රියාකාරකම් නිසා සිංහල යුනිකේත භාවිතය අන්තර්ජාල පරිශීලකයන් අතර වර්ධනය වීම වේගවත් විය. එහෙයින් ශ්‍රීලංකාව තුල මෙන්ම විදෙස් ගත සිංහලයන්ද තම මවු භාෂාව උපයෝගී කරගෙන අන්තර්ජාලය තුල තම ක්‍රියාකාරකම් සිදු කිරීම ආරම්භ කරන ලදී. මෙසේ සිංහල යුනිකේත භාවිතය ජනප්‍රිය වීමත් සමගම අන්තර්ජාලය තුල නොමිලේ ඉඩකඩ ලබාදෙන බ්ලොගර්, වර්ඩ් ප්‍රෙස් වැනි සේවාවන් උපයෝගී කරගෙන සිංහල යුනිකේත භාවිතා කිරීම මගින් ලියවෙන පුද්ගලික බ්ලොග් අඩවි ආරම්භ වීම සිදු විය. පළමුව තාක්ෂණික කරුණු ඇතුලත් ලිපි ඇතුලත් බ්ලොග් අඩවි පමණක් දක්නට ලැබුණි. නමුත් කාලයත් සමගම ලියවෙන බ්ලොග් ප්‍රමාණය වැඩි වීමත් සාහිත්‍ය, කළා විනෝදාත්මක, දේශපාලනික ආදී විවිධ අංශ පිළිබඳව ලියවෙන බ්ලොග් අඩවි බිහිවීමත් සිදු විය.

මෙසේ ලියවෙන බ්ලොග් ප්‍රමාණය සියයක් පමණ වන විට පළමුවන සින්ඩිකේටරය වන සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය ආරම්භ වීය. මුල් කාලින සිංහල බ්ලොග් කරුවන්ට ඇතිවූ ගැටළු බවට පත් වී තිබුනේ සිංහල යුනිකෝඩ් භාවිතය ව්‍යාප්ත කිරීම, සිංහල ජ්‍යාත්‍යන්තර කිරීම සදහා මයික්‍රොසොෆ්ට් සමාගමට බලපෑම් කිරීම, ආදියයි. මෙම ගැටළු විසඳා ගැනීම පිලිබඳ සාකච්චා කිරීම සඳහා බ්ලොග් කරුවන්ගේ ප්‍රථම සුහද හමුව සංවිධානය විය. පසු කාලීනව ලාංකීය සිතුවිලි, හත් මාළුව වැනි විකල්ප සින්ඩිකේටර බිහිවූ අතර බ්ලොග්කරණය තවදුරටත් ව්‍යාප්ත වන්නට විය.




කලකට පෙර ගුගල් ආයතනය විසින් ලබා දුන් ගුගල් බස් සේවාව හරහා සම්බන්ධ වූ පිරිසක් විසින් 2011 වසරේදී බස් රේඩියෝ නමින් අන්තර්ජාල රේඩියෝ නාලිකාවක් විකාශය ආරම්භ කරණ ලදී. මෙමගින් සිංහල බ්ලොග් ඉතිහාසයේ නව පිටුවක් ආරම්භ විය. මෙම නාලිකාවේ මුලිකම අරමුණ අන්තර්ජාලයේ සැරිසරන්නන් ගේ විනෝදාස්වාදය උදෙසා ගීත ලබා දීම වුවත් බ්ලොග් අවකාශයේ ජනප්‍රිය බ්ලොග් රචකයන් සහභාගී කරගෙන පැවැත්වූ බස් කතා බස්, බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙල වැනි වැඩසටහන් සිංහල බ්ලොග් කරුවන් අතර ඉමහත් ජනප්‍රියතාවයක් දිනාගන්නා ලදී. http://www.buzzradio.lk/ වෙබ් අඩවිය මගින් ඔබටත් බස් රේඩියෝව හා සම්බන්ධ විය හැකිය. 


ටිකක් හිනා වෙන්න ඇවිත් යන්න” බ්ලොග් අඩවිය පවත්වාගෙන යන අභීත එදිරිසිංහ සොයුරා ඇතුළු කිහිප දෙනෙකු සම්බන්ධවී පැවැත්වූ ප්‍රාදේශීය මිතුරු හවුල් කිහිපයකින් පසු ශක්තිමත් වූ බැඳීමක ප්‍රතිඵලයක් ලෙස 2011 වර්ෂයේදී ප්‍රථම සයිබරයේ සිහින සැණකෙළිය “සයිබර් සිහින” උළෙල ලොව පුරා පැතිර සිටින සිංහල බ්ලොග්කරුවන්ගේ සහභාගිත්වයෙන් හෙන්රි පෙද්‍රිස් උද්‍යානයේදී පවත්වන ලදී. සාමාන්‍ය අවුරුදු උත්සවයකට වඩා වැඩි යමක් එක් කල එදින මෙතුවක් කාලයක් සයිබර් අවකාශයෙන් මුහුණු පොතෙන් පමණක් දැන ඇදුනුම්කම් ඇති කරගත් ලංකාව වටා පමණක් නොව ලොව වටා විසිරුණු පිරිසකගේ සුහද හමුවක් බවට පත් විය. 

එම සිහින උළෙලේ දී බ්ලොග් මිතුරන්ගේ ප්‍රථම සමාජ සත්කාරය වන සයිබරයේ මිතුරකු වූ “දිලුම්” හෙවත් “ඉලන්දාරියා” ට සවන් ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ විය. සයිබර් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් දිලුම් සොහොයුරාගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් “දිලුම් වෙනුවෙන් අපි” අරමුදල ආරම්භ විය. නමුත් අවාසනාවන්ත ලෙස දිලුම් සොයුරා අපගෙන් සමු ගන්නා ලදී.  දිලුම් ගේ අභාවයෙන් පසු බ්ලොග් අවකාශයේ මිතුරු මිතුරියන් ගේ දායකත්වයෙන් දිලුම්ගේ තුන් මාසයේ දානය අරමුණු  කොට මහරගම පිළිකා රෝහලට බෙහෙත් ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී. ඒ පිළිබඳව තවත් විස්තර මෙතනින්.

මිට අමතරව දිලුම්ගේ ආබාධයට සමාන ආබාදයකින් පෙළුණු “ජෙරුෂා” දියණිය සුවපත් කර ගැනීම සදහා එම අරමුදලේ මුදල් යෙදවූ අතර ඒ සිඟිති දියණිය සුවපත් කර ගැනීමට බ්ලොග් කරුවන්ට හැකියාව ලැබිණි. මේ සද්කාර්යය සදහා ඩුබායි වල වෙසෙන දුකා, දුමී ඇතුළු පිරිස විසින් ලබා දුන් දායකත්වය අගය කල යුතුය.

එසේ සුවපත් වූ සයිබරයේ සුරතලිය ජෙරුෂා දැරියගේ සහභාගිත්වයෙන් 2012 වසරේ දී සයිබරයේ දෙවන සිහින උළෙලද 2012 අප්‍රේල් මස 22 වන දින දෙස් විදෙස් සිංහල බ්ලොග්කරුවන්ගේ සහභාගිත්වයෙන් වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. 


අප අතරින් සදහටම සමුගත් බ්ලොග් අවකාශය තුල ඔබ්සවර් නමින් අප සැමගේ ආදරය දිනා ගත් “සනත් විජේවර්ධන” හෙවත් “ඔබා මාමා” සහ “දිලුම්” හෙවත් “ඉලන්දාරියා” ඇතුළු පිරිස සිහිපත් කර ඔව්න්ට පිං පිණිස 2012 බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාර වැඩසටහන මගින් "දැනුමැති සමාජයක් උදෙසා පොතක් පරිත්‍යාග කරමු..!" යන තේමාවෙන් අම්පාර උහන ගලහිටියාගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ පුස්තකාලය සදහා පොත් ලබා දීම එම විද්‍යාලයේදී සිදු විය.

 එම සත්කාර්යය සඳහා සතර දෙස විසිරි පැතිරී සිටින සිංහල බ්ලොග් කලාවට ආදරය කරන, බ්ලොග් අවකාශය සමග රැදී සිටින බොහෝ දෙනෙකුගේ ආධාර උපකාර හිමි විය. වර්ෂයකට වරක් පවත්වන සයිබර් සිහින උළෙලට අමතරව ප්‍රාදේශීය සුහද හමු තුලින් අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය වින්දනීය සහෝදරත්වයකින් බැදුණු ශ්‍රී ලාංකිය බ්ලොග් අවකාශයේ මිතුරන් ගෙන් තවත් වින්දනීය සහ සමාජයීය වැඩ කටයුතු රාශියක් ඉදිරියේදීද සිදු වීමට නියමිතය. වැඩිදුර විස්තර සයිබර් සැණකෙළිය නිල බ්ලොග් අඩවිය මගින් ඔබටත් දැනගැනීමට පුළුවන්. 


උපුටාගැනීම - රෙපාගේ අම්බලම
Back to Top