දවසින් දවස සිංහලෙන් පල වෙන බ්ලොග් අඩවි ප්‍රමාණය වැඩි වෙද්දි විවිධ සුහද හමු, සාකච්ඡා, සංගම් බිහිවෙන්න පටන්ගත්තා. ඒ අතරතුර පරිගණක තිරය මත මැවෙන අකුරු වලින් පමණක් හඳුනාගෙන හිටපු බ්ලොග්කරුවන් තත්‍ය ලෝකයේදී හමුවෙන්න, කතාකරන්න විතරක් නෙමෙයි පෙම්බඳින්නත් පටන්ගත්තා. ඔය විදියට දවසින් දවස පළල් වුනු සිංහල බ්ලොග් අවකාශය තුල බ්ලොග් අවකාශයේ මිතුරෝ බිහිවෙන්නේ 2011 අවුරුද්දෙ මුල්කාලෙ.
2011 සයිබර් සිහින උළෙලත් එක්ක ආරම්භ වුනු මේ සහෝදරත්වය දිළුම්ට සවන් ලබාදීමේ ඉඳලා ජෙරූෂා දියණිය සුවපත් කිරීම දක්වා සුවිශාල සමාජ මෙහෙවරක් කරන්නට සංවිධානය වුනා. එදා ආරම්භක සංවිධායක මණ්ඩලය ඒ වෙනුවෙන් කළ කැපකිරීම් තුලින් පන්නරය ලබමින් තවත් සුහද හමු ගණනාවක් ඒ වසර තුල පවත්වා අන්‍යොන්‍ය සහෝදරත්වය වර්ධනය කරගන්නට තරම් අපේ බ්ලොග්කරුවන් ශක්තිමත් වුනා.
ඊට පස්සෙ 2012 ජනවාරි මාසෙ බ්ලොග් අවකාශයේ මිතුරෝ අළුත් කණ්ඩායමක නායකත්වය ඔස්සේ තවදුරටත් ඉදිරියට යන්න පටන්ගත්තා. පැරණි කණ්ඩායමේ සහයෝගයෙන් හා තම කණ්ඩායම තුල පැවති කැපවීම හා අධිෂ්ඨානය තුලින් “විශ්වයක් මිටින් ගත් අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය සදාතනික සහෝදරත්වයේ වින්දනීය කූටප්‍රාප්තිය - සයිබර් සිහින උළෙල 2012” ලොව පුරා විසිරුණු බ්ලොග්කරුවන් හා එක්ව අති සාර්ථකව පවත්වන්නට 2012 සංවිධායක මණ්ඩලයට හැකි වුනා.
ටික කාලයක නිහැඞියාවකට පස්සෙ බ්ලොග් අවකාශයේ මිතුරෝ “දැනුමැති සමාජයක් උදෙසා පොතක් පරිත්‍යාග කරමු..!” කියන තේමාවෙන් සමාජ සත්කාර වැඩසටහනක් පවත්වනු ලැබුවා. ඒ තමයි අම්පාර උහන ගලහිටියාගොඩ මධ්‍ය මහා විද්‍යාලයට පුස්තකාල පොත් ලබාදීමේ වැඩසටහන. සිංහල බ්ලොග් අවකාශයේ ඔබ්සවර් - සනත් විජේවර්ධනයන් සිහිපත් කරමින් ගලහිටියාගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ පුස්තකාලයට පොත් 500කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කිරිමත් එක්ක 2012 වර්ෂයේ බ්ලොග් අවකාශයේ මිතුරෝ වාර්ෂික වැඩසටහන් අවසන් වෙන්නේ අළුත් අවුරුද්දෙ අළුත් කණ්ඩායමක නායකත්වය ඔස්සේ ඉදිරියටත් ගමන් කරන්නට අවශ්‍ය වටපිටාව සකසා දෙමින්.

පසුගිය වසර මුළුල්ලේ Raj, සඳකිඳුරා, යසන්ත, චතුමිතු, ගයාන්, දුෂ්, පොඩිමෑන්, බිම්සර, දේවා, ප්‍රාර්ථනා, හිමහංසි, ජනරඟ, මලිත්, උදිත්, ජිංජිබිරිස්, යැංකි, ප්‍රදීප් සහ දඟයා කියන සංවිධායක මණ්ඩලයේ සාමාජිකයින් දැක්වූ දායකත්වයත්, 2011 වසරේ සංවිධායක මණ්ඩලයෙන් ලැබුණු මගපෙන්වීම් හා බස්රේඩියෝ, සියළුම සින්ඩිකේටර්ස්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආදි ආයතන හා සංවිධාන දැක්වූ සහයෝගයත්, විශේෂයෙන්ම ලොව පුරා විවිධ ස්ථාන වල සිට විවිධ ආකාරයෙන් සහයෝගය දැක්වූ සියළුම බ්ලොග්කරුවන්ගේ උනන්දුවත් නොවන්නට අපට මෙතෙක් ආ මග එන්නට නොහැකි වන්නට තිබුනා.
ඒ සියළු දෙනාට බ්ලොග් අවකාශයේ මිතුරෝ ගෞරවණිය ස්තුතිය පල කරන අතර මේ විවෘත කරන්නේ දයාබර ඔබගේ අවස්ථාවයි.

සංවිධායක මණ්ඩලයේ සාමාජිකයෙක්/ සාමාජිකාවක් ලෙස 2013 වර්ෂය පුරා බ්ලොග් අවකාශයේ මිතුරෝ මෙහෙයවන්නට, ඒ වෙනුවෙන් දායක වන්නට ඔබ කැමතිනම් නොවැම්බර් මස 30 වන දිනට පෙර මේ පෝරමය පුරවා ඔබේ කැමැත්ත පල කරන්න. මේ අවස්ථාව ඔබේ හෙට දවස වෙනස් කරන අවස්ථාවක් නොවේ යැයි කිවහැක්කේ කාටද?
එහෙමනම් ඔබේ තහවුරුකිරීම ලැබෙනකම් බ්ලොග් අවකාශයේ මිතුරෝ බලාගෙන ඉන්නවා....