8

ස්තුතියි...!







අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය වින්දනීය සහෝදරත්වය, ෴ බ්ලොග් අවකාශයේ මිතුරෝ වන අපි ෴ සිංහල බසින් බ්ලොග්කරණයේ යෙදෙන බ්ලොග්කරුවන්ගේ "මහා මංගල්‍යය" යන විරුදාවලිය ලත් සයිබර් සිහින බක්මහ උළෙල අඛණ්ඩව පස් වන වරටත් සාර්ථකව පවත්වා නිමකරන්නට සමත්වීමු. 

2011 අප්‍රේල් 03 වන දින හෙන්රි පේද්‍රිස් පිටියෙන් පටන් ගත් ගමන මේ තරම් දුරක් එනු ඇතැයි ඒ සඳහා දායක වූ ආදරණීය බ්ලොග් සහෘදයින් එදා සිතන්නට නැතිව ඇති. එහෙත් ඒ ආරම්භකයින්ටත්, එදා මෙදා තුර ඒ සඳහා කැප වී කටයුතු කල සහෘද බ්ලොග්කරුවන්ටත් බ්ලොග් අවකාශයේ මිතුරෝ සිය කෘතවේදීත්වය පළ කර සිටියි. 


පෙර වසර වලදී මෙන්ම 2015 වසරේ සයිබර් සිහින බක්මහ උළෙල ද සිව් මසක මෙහෙයුමක් විය. ජනවාරි මාසයේ ආරම්භ වන මූලික සාකච්ඡා වල සිට තවත් සතියකින් දෙකකින් මූල්‍ය සාරාංශය ඉදිරිපත් කරන මොහොත දක්වා මෙම ක්‍රියාදාමය ඇදී යයි. එහිදී උළෙල සැළසුම් කිරීම, මූල්‍ය දායකත්වයන් ලබාගැනීම, බ්ලොග්කරුවන් ලියාපදිංචි කිරීම, ආහාර පාන සහ තෑගි සූදානම් කිරීම ආදී කටයුතු රැසක් සිදු වේ. ඒ සඳහා නිරන්තර සහයෝගය ලබා දෙන්නේ ආදරණීය බ්ලොග් සහෘදයන්ය. සයිබර් සිහින බක්මහ උළෙල අවසන් ව හෝරා කිහිපයක් ගත ව ඇති මේ මොහොතේ ඔවුන් සිහිපත් කිරීම සංවිධායක මණ්ඩලයේ යුතුකමයි.

මෙවර සයිබර් සිහින බක්මහ උළෙල සාර්ථක කරගන්නට මූල්‍ය දායකත්වයන් ලබා දුන් දේවක සඳරුවන් සොයුරා සහ නෙළුම් යාය සංවිධානයටත්, ත්‍යාග සඳහා දායකත්වය දැක්වූ Laydeez, චානක ඉලෙක්ට්‍රිකල්ස් - නාවල, සෙන්ට්‍රල් රිකවරීස් - රාජගිරිය සහ රිද්ම කසුන් මහතා ඇතුලු යමං ගෘෘප් කණ්ඩායමටත් බ්ලොග් අවකාශයේ මිතුරෝ ආදර ස්තුතිය පුද කර සිටියි.

එමෙන්ම සයිබර් සිහින බක්මහ උළෙල සඳහා නිල මාධ්‍ය දායකත්වය නිරතුරුව ලබා දෙමින් හා ශබ්ද විකාශන පද්ධති සපයමින් සහයෝගය දක්වන Buzz Radio කණ්ඩායමට ද අපගේ හද පිරි ස්තුතිය පිරිනමනු කැමැත්තෙමු. බස් රේඩියෝවත් බ්ලොග් අවකාශයත් අතර බැඳීම දිනෙන් දින වර්ධනය වේවායි ද ප්‍රාර්ථනා කරමු.

පසුගිය කාලය මුලුල්ලේම වරින් වර විමසමින් අවශ්‍ය කටයුතු නොපිරිහෙලා ඉටු කර දුන් හා අද දින (19) උදෑසන සිට පැමිණ විය යුත්ත විමසා බලා ඉටුකරමින් තරඟ සංවිධානය ඇතුලු සියලු කටයුතු වලට ශ්‍රම දායකත්වය දැක්වූ සියලුම සහෘද බ්ලොග්කරුවන්ටද සංවිධායක මණ්ඩලයේ ස්තුතිය නිතැතින්ම හිමිවෙයි.


සයිබර් සිහින බක්මහ උළෙල වෙනුවෙන් බොහෝ දුර බැහැර සිට පැමිණ තරඟ වලට සහභාගී වූ සහ කරදර අඩුපාඩු දරාගනිමින් සියලු කටයුතු වලදී සහයෝගය දැක්වූ අද පැමිණි දයාබර ඔබ නොවන්නට අපගේ මෙම ව්‍යායාමය සිහිනයක්ම වන්නට ඉඩ තිබිණි. එබැවින් අද දින පැමිණි 100 ක් පමණ වූ සහෘද බ්ලොග්කරුවනි, බ්ලොග් අවකාශයේ මිතුරෝහි අවංක ආදර ස්තුතිය ඔබට පිරිනමමු. 

එමෙන්ම සයිබර් සිහින උළෙල සදාතනික සිහිවටනයක් කරනු පිණිස දිනය ඡායාරූපගත කල බ්ලොග් සහෘදයින්ටත්, නිවේදන කටයුතු වලින් දායක වූ ජනරඟ හා දුලාන් සොහොයුරන්ටත්, නන් අයුරින් දායක වූ සැමටත් ස්තුති කිරීමට ද අප මෙය අවස්ථාවක් කරගනිමු. එමෙන්ම ඔබ ලබාගත් ඡායාරූප පළ කරන ෆේස්බුක් ඇල්බම් සහ බ්ලොග් පෝස්ට් වල ලින්ක් අපගේ නිල ෆේස්බුක් ඉවෙන්ට් එකේ පළ කරන ලෙසත්, ඒවා සියලු දෙනාටම නැරඹිය හැකි (view--> Public) ලෙස සකස් කරන ලෙසත්, ඔබ හැර වෙනත් මිතුරන් ටැග් කිරීමෙන් වලකින ලෙසත්, දයාබර කැමරා ශිල්පීන්ගෙන් හා නරඹන්නන්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු. සියළුම ඇල්බම්/ බ්ලොග් පෝස්ට් වල ලයිස්තුවක් පසුගිය වසර වලදී මෙන්ම ඉදිරියේදී මෙම බ්ලොග් අඩවියේ පළ කිරීමට කටයුතු යොදා ඇත.

මේ අවසන් දවස නොවේ. මීට වඩා සුන්දර සයිබර් සිහින බක්මහ උළෙලක් ලබන වසරේදී පැවැත්වෙනු ඇත. ඊට පෙර තවත් බොහෝ බ්ලොග් සුහද හමු සැළසුම් වනු ඇත. ඉදින්, අපි එදාට යලිත් මුණගැසෙමු. එතෙක්....
ඔබට ස්තුතියි....!

8 comments:

sAm (සෑම්) said...

ගෘප් ෆොටෝ එක තමා ඕනේ >.<

vicharaka said...

එන්ඩ බැරිවුනේ මේ දවසටම අපේ ගමේ අවුරුදු උත්සවය යෙදී තිබුන නිසා. පින්තූර දැක්කම දුකයි එන්ඩ බැරිවීම ගැන.

ජයවේවා!

කල්‍යාණ මිත්‍ර said...

ආවෙමි. නැරඹුවෙමි.

බස්සි (Yash) said...

ආන් මැණිකක්කී අලියට ඇහැතියනවා!

ආවට පැයක් විතර තමා ඉන්ඩ ලැබුනෙ. ඒකෙනුත් පැය බාගයකටත් වඩා තොප්පි මාරු කලා නෙව. අනේ ගෲප් ෆොටෝවෙ මං නෑ... :(

සමී said...

ජය වේවා!!!

සමී said...

ජය වේවා!!!

අඟහරුවා. said...

අපිත් ආවලු ඈ.. සංවිධානය කිරීමට බොහොම ස්තුතියි!

ඉන්දික උපශාන්ත said...

සංවිධායකයන්ට ආචාරය, සහභාගීවූ අයට ස්තූතිය..!

දවසක් ඒවී අපිත් විය සිදුරෙන් අහස දකින...

Post a Comment

Back to Top